Thursday, December 26, 2013

අක්මාවට කිචි

බඹර නාද පවස විට තඹර මල් කොනේ
නිල් අඹර බලාගෙන කවදද බඹරු ඉගිලුනේ //
බඹර නාද පවස විට තඹර මල් කොනේ....

හකුරු කන්ද මැද, කොහොඹ පැල සිටවන ලද
කිරි කල ඇද ඇද දැම්මට, පැණි රස එනවද //
හකුරු කන්ද මැද, කොහොඹ පැල සිටවන ලද

බලේ තිබුන මුත් ඔවුන්ට රටේ ලෝ වට
මොලේ නෑනේ කාටත් උස මහත උනාට//
බලේ තිබුන මුත් දේශ පාලුවන් හට....

බඩ පුම්බන් ඕන තැනක, බොරු තොග තොග කියන
පරණ නටඹුන් වගෙ පේන,  නියම පටකම්බා මුණ //
බඩ පුම්බන් ඕන තැනක, හොර වැඩ හෙම කරන....

පුරාණෙ සිට ඕන, තැනක ජරා දෝස ගේන
ඇස් නෙරා පිටට පේන, නියම ගරා යක්ෂ මූණ //
පුරාණෙ සිට ඕන තැනක, ජරා දෝස ගේන....

රෙදි හෝදලා රෙදි හෝදලා දෑත රිදෙනවෝ
කොච්චර නිදි මත තිබුනත් කඩේට යනවෝ //
නින්දෙන් හරි හැමෝගෙම රෙදි හෝදනවෝ....

පොත් කියවයි සමහරු බලවත්තු  මේ පැයේ
මේ අත් කරත්ත වල කවදද ඇත්තු ගෙන ගියේ //
පොත් පෙරලයි සමහරු බලවත්තු  මේ පැයේ....

ඔය කට
ඔවුනට
ලැබුනට
කැත කට
හතරට
ඉරණට
හිතේ  මට....



MAP ඇත අඥාත ///
පිප්පුවාට නරි රෑන
ON කර සුභ සිහින ///
කප් ගැහුවෙ ලංකාව....

තම පය දින ගානේ ///
හොබවා පෙරටම ඥානේ
ලැබ තුති අභිමානේ ///
බැබළෙයි රණවිරුවානේ....

පින පව හඳුනන්නා ///
නිතරම බුදු හිමි වැන්දා
යන මඟ හරි හින්දා ///
අණවින කොඩිවිණ බින්ඳා....

තාළට නැටවෙන්න ///
ගෙයි මැද සාලෙට එන්න
හොඳ හැටි නැටවෙන්න ///
අර FM අල්ලන්න....

ඇති දැන් කවි කිව්වා ///
මට බඩගිනි මම යනවා
අම්මා තේ හදලා ///
තේ ඇල් වෙයි බෑ බොන්ඩ





Tuesday, December 17, 2013

වාරුව නැත, පාලුව ඇත

කලකට ඉහත මමත්
දා වටේ පැදකුණු කරත්
එදා මෙන් අදත්
නොම කරනෙමි, පැදකුණු තවත්

රෝද හතර තියෙනවා මගෙ වාරුවට
තල්ලු කරති දරු තිදෙනා මාරුවට
හේවිසි නළා ඇහෙනවා මට පූරුවට
දෑත් එකතු කර වඳිනෙමි සීරුවට

ඇහෙන විටදි මට ඔබේ සාදූ !!! නාදේ
නගනෙමි මමත් මෙහි සිට සාදූ !!! නාදේ
හැකිනම් එක් වෙන්නට නගමින් සාදූ !!! නාදේ
පෙරමුණ ගන්නේ මම මයි, සාදූ !!! නාදේ

කසා වතින් රන් වැලි සෑ සරසන්ට
හිතෙනවා දහස් වාරක් මට ඔහෙ එන්ට
නැහැ දෙපයේ වාරුවක් බැහැ මට නැගිටින්ට
දැක්කොත් මාව, ඇවිදින් අත ගස්සන්ට

කසා වතක් වැඩමෙන විට ඔබේ හිසින්
ආසයි මටත් ළං වන්නට දෙපා මතින්
එය කල නොහැක, මම ලත වෙමි මගේ සිතින්
දෙගුරුන් හට මම පිං දෙමි, දැකලා ඇසින්

දත් නැති දා උක් දඬු ගිනි තපින්නද
පය නැති දා, දා පැදකුණු කරන්නද
ඇස් නැති දා, මේ කිසිවක් දකින්නද
මට හැකි දා, මේ සා පිං නොකලේද




ප. ලි. 
මේ සිදුවීම කැමරා කාච්යේ සටහන් වූයේ, 2013 උඳුවප්  පොහෝ දින අනුරාධපුර රුවන්වැලිසෑය අභියසදීය. 







Thursday, December 12, 2013

ගංගොඩවිල සෝම හාමුදුරුවෝ



ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වෙලා (????) දැන් වසර 10ක් ගතවෙලා. මට මතකයි මමත් සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් අහන්ඩ ගියා මීට අවුරුදු 14කට විතර කලින් කුඹුක්ගහමුල්ලේ ඉස්කෝලෙට. ඉස්කෝලයක් කියන්නේ සෑහෙන ඉඩක් තියන භූමියක්නේ. එත් අපිට ඉඳගන්නවත් තැනක් හම්බුනේ නෑ. ඉස්කොලෙට අල්ලපු වත්තක ඉඳන් තමයි බණ ඇහුවේ. එච්චරට සෙනඟ. ඒක මට ජීවිතේ හොඳ මතකයක්.

ඒත් අපේ අවාසනාවට, රටේ අවාසනාවට උන්වහන්සේ අපවත් උනා. (????) මම හිතන්නේ මේ ලිපිය කියවන හැමෝම වගේ උන්වහන්සේගේ ධර්ම දේශනා අහල තියනවා. උන්වහන්සේ එදා ඒ කරපු අනතුරු ඇඟවීම්, අද යථාර්තයක් වෙලා අපිම අත්දකිනවා නේද? උන්වහන්සේට මෙවා දේශනා කරන්ඩ සේනා තිබ්බේ නෑ, සංගම් තිබ්බේ නෑ. රටේ බහුතරය මේ තනි පුද්ගලයා කරපු වෑයමට සහය දෙන්න පෙළ ගැහුනා. අන්‍යාගමීකරණය, මූලධර්මවාදය නිසා සිංහල ජාතියේ බෞද්ධ දරිශනයේ පරිහානිය වැඩි ඈතක නෙමේ කියලා උන් වහන්සේම දේශනා කරලා තියනවා. අද අපි ඒක ප්‍රායෝගිකව අත්දකිනවා. සිංහල ජාතිය වගේම බුද්ධ ධර්මයත් රැකගැනීමට සටන් කල මේ වීර පුරුෂයා ජාතික වීරයෙක් නේද?

මම මේ ලිපිය ලියන්නෙත් එකේ තියන උන්වහන්සේගේ ධර්ම දෙශනාවක් අහන ගමන්. මම පුද්ගලිකව බණ අහන් කෙනෙක් නෙමෙයි, ඇහුවත් අහන්නේ, ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ, දොඩම්පහල රාහුල හාමුදුරුවන්ගේ, මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ වැනි ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා තමයි.උන්වහන්සෙලාගේ ධර්ම දේශනා හරිම කාලෝතිචයි, යමක් ඉගන ගන්නට, හිතලා හැදෙන්නට කාරණා එමටයි.

මම හිතන විදිහට  ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ ශාසනික මෙහෙවරක යුගයේ අවශ්‍යතාවය එදාට වඩා අදයි දැනෙන්නේ. අන්‍යාගමීකරණයට වඩා රටේ සිංහල බෞද්ධයාව අද වෙනත් ආගමක් මගින් ආක්‍රමණය කරනවා කියලා අපි කවුරුත් දන්න දෙයක්. උන්වහන්සේ අද වැඩහිටියනම් කලහකාරීත්වයෙන් තොරව බෞද්ධයා අවදි කරනවා, නිසැකයි. 

එදා ඇස්. මහින්ද හාමුදුරුවෝ "ඇස් ගෙඩි වලට  හෙණ ගහලද සිහලුන්නේ" කියලා නිදහස වෙනුවෙන් සිංහලයා අවදි කරා, අද සෝමා හාමුදුරුවෝ වැඩ හිටියනම් මේ තත්වයේ වැඩි වෙනසක් වෙන එකක් නෑ. එහෙත් අද ඒ ශාසනික මෙහෙවරට උරදෙන්න උන්වහන්සේට හැකියාවක් නෑ.

උන්වහන්සේ අපවත් වුනා. (????)

මම දැක්ක වැඩිම ජන සහභාගිත්වයක් සහිත අවමංගල්‍ය උත්සවයක් වුණා නම් ඒ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ අවමංගල්‍ය උත්සවයයි. (අප්පච්චී කිව්ව විදිහට මීට කලින් ඒ වගේ ජන සහභාගිත්වයක් සහිත අවමංගල්‍ය උත්සවයක් තිබුණනම් ඒ විජය කුමාරණතුංග මහත්තයාගෙයි, ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයාගෙයි අවමංගල්‍ය උත්සවයි විතරලු ) දරුවෝ, තරුණ ළමයි, මැදි වියේ උදවිය, ස්වාමීන් වහන්සේලා බොහොමයක් කම්පා උනා, ඇඬුවා. 



දැන් ඒ පුරෝගාමී චරිතයේ මෙහෙවර රටට අහිමි වෙලා අවුරුදු 10ක් ගත වෙලා. ඒත් රටේ තත්වය එදාට වඩා අද අන්ත වෙලා නේද? අපි උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පිං දහම් කරන ගමන් තව අවධානය යොමු වියයුතු අංශ බොහොමයක් තියනවා. උන්වහන්සේට හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන විශාල දැක්මක් තිබුණා. තව අන්‍යාගමීකරණය, අනිත් ආගම් සිංහල බෞද්ධයා සහ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම වගේ කරුණු ගැන උන්වහන්සේ නිතරම දේශනා කරා, ඊට එරෙහිව  සිංහල බෞද්ධයා පෙළගැස්සුවා.

අපි තාමත් උන්වහන්සේ අන්තිමට නවත්තපු තැනමයි නේද? ඉතිරිය හිතන්න ඔබට භාරයි !!!
අවසන් වශයෙන් අති විශාල ශාසනික, සමාජීය, ආධ්‍යාත්මික මෙහෙවරක් සිංහල බෞද්ධයා වෙනුවෙන් ඉටු කල උන් වහන්සේට,  නිවන් සුව ප්‍රාර්ථනා කරමු, උන්වහන්සේගෙන් හිස් උන තැන ගන්නට තව කී කාලෙකින් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බිහි වෙයිද??


දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා.... (සොමා හාමුදුරුවෝ වෙනුවෙන් ගැයෙන් ගීතයක්)














Monday, December 9, 2013

ශෝට් ලීව් සහ යාචකයා

"මේඩින් චයිනා, චයිනා ඉඳිකටු කාඩ් එකටම විස්සයි, ඇඳුම් මහන්න කුඩ මහන්න සපත්තු මහන්න, ගෝනි මහන්න.......මේඩින් චයිනා, චයිනා ඉඳිකටු කාඩ් එකටම විස්සයි"

"අලුත් අවුරුද්දේ ලිතයි පොතයි දෙකටම විස්සයි, සිංහල අවුරුදු නැකැත්, රාහු කාලය, හූනන් ඇඟ වැටීමේ පලාපල වගේ දෙවල් බලන්ඩ ගන්ඩ, කඩෙන් ගන්නවනම් පනහක් වගේ ගානක් වෙනවා, ඕනානම් කතා කරල ඉල්ලන්ඩ, ලිතයි පොතයි දෙකටම විස්සයි"

"වඩේ වඩේ වඩේ ඉස්සෝ වඩේ පනහට තුනයි, වඩේ වඩේ වඩේ වඩේ ඉස්සෝ වඩේ, පරිප්පු වඩේ පනහට හයයි වඩේ වඩේ වඩේ, දෙන්නද වඩේ?"

මේ මොකද්ද මේ? මාතෘකාව "ශෝට් ලීව් සහ යාචකයා". පටන් අරන් තියෙන්නේ බස් වල වඩේ, ලිත්, ඉඳිකටු විකුණලා. හරියට හොම්බ්‍රන් පැස්ටල් සහ කාළගුණය වගේ. කිසි දේක කිසීම ගැළපීමක් නෑ නේද?

මම ඊයේ (8/12/2013) හවස 5ට විතර කුරුණෑගල ටවුමට ගියා. මම හිතන්නේ අවුරුදු එකහමාරකින් විතර ඉරිදා දවසක ඒ වෙලාවට ටවුමට ගියේ. ඉස්සර නම් ඉතින් ඉරිදා හවස 5ට විතර කීර්ති සෑර් ගේ පන්ති ඇරිලා ගෙදර යන්ඩ මේ වෙලාවට ටවුමට එනවනේ. ඉස්සර සැට් එකේ 8ක් 9ක් හිටියා, එකට බස් එකේ යන. දැන් කස්ටිය තැන් තැන් වල. සමහරු නායකයෝ වෙන්ඩ ගිහින්, සමහරු තාම ගෙදර. ඒවා එහෙමයි.

අපි සැට් එක ඉස්සර බස් එනකන් කයියක් දාගෙන හිටපු තැන අද වෙන කස්ටියක්. ඒ පුරුදු මූණු එකක්වත් නෑ. කාලය මැවු වෙනසක අරුමේ තමයි, අපි වෙනස් උනාට කුරුණෑගල ටවුම නම් තාම වෙනස් වෙලා නෑ. තාමත් ඇතුගල උඩ වැඩ ඉන්නා බුදු පිළිම වහන්සේ උපේක්ෂාවෙන් ටවුම දිහා බලාගෙන ඉන්නවා.



හා දැන් කතාවට එමුකෝ, මම කිව්වනේ ටවුම වෙනස් වෙලා නෑ කියලා. සමහර සිත් ගත් චරිත, චන්ඩි චරිත, අශික්කිත චරිත තාම ඉන්නවා. විවිධ චරිත තමයි ඉතින්.

මම මේ කියන්ඩ යන්නේ මම ඉස්කෝලෙන් ශෝට් ලීව් දාලා යද්දි උන සිද්දියක් (ඉස්කෝලෙන්  ශෝට් ලීව් දාන්නේ කොහොමද කියලා අහන්ඩ එපා, ඒවා තහනම් ප්‍රශ්න. දන්නෝ දනිති. කොහොමහරි අපිට මතකත් උදේ ඉස්කෝලෙට ගිහින් 9.30 වෙද්දි ගෙදර එනවා කියලා විතරයි. එහෙම එද්දී ඉතින් අසල්වාසින් මම දිහා බලන්නේ ආනන්තරීය පාපකර්මයක් කරලා ගමට එන කොල්ලෙක් දිහා බලන විදිහටනේ, CCTV කැමරා හින්දා දැන්නම් ශෝට් ලීව් දාන්න අමාරුයි කියලා ආරන්චී)

ඔන්න අපේ පන්තියේ උදවිය ශෝට් ලීව් දාලා එහෙම ටවුමට ආවා. යුනිෆෝම් එකෙන් ටවුමේ ඇවිදින එක අන්තරාදායක හින්දා ඉතින් තියන මුල්ම බස් වල ගම් බිම් වලට යනවා. මමත් සීසන් එකට දේවත්වයෙන් සලකන ඈයෙක් හින්දා CTB බස් එකක් බලලා වාඩි උනා.

"මේඩින් චයිනා, චයිනා ඉඳිකටු කාඩ් එකටම විස්සයි, ඇඳුම් මහන්න කුඩ මහන්න සපත්තු මහන්න, ගෝනි මහන්න.......මේඩින් චයිනා, චයිනා ඉඳිකටු කාඩ් එකටම විස්සයි"

මේවා ඉතින් කුරුණෑගලින් බස් එකට නගින අයට නම් සාමාන්‍ය දෙයක්. එදා මේ වෙළෙන්දො කස්ටිය අතරේ තවත් කොලු ගැටයෙක් බස් එකට නැග්ගා. කොන්ඩෙ පොඩ්ඩක් වවලා, පැත්තකට දිලිසෙන ටින්ට් එකක් අල්ලලා, හරියට Gloss 2K පේන්ට් එකක් වගේ. හොදට මතක හිටින මූණක් තියෙන්නේ.

"ආදරණීය අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ, මම ............. (නම කියයි ), මම කෙලේ .............. (කරපු රැකියාව කියයි ). මට මීට අවුරුදු  3කට කලින් හදිසි අනතුරක් වෙලා තමයි මේ දේ උනේ ( කමිසය උස්සලා කැපුම් තුවාලයක් පෙන්නයි )

 මගේ තාත්තා නෑ, අම්මයි ............. (සහොදරියන් ගණන කියයි ) ඉන්නවා. නංගිලා ඉගෙන ගන්නේ ................. (පාසලක නමක් කියයි ). මට මොකවත් වැඩක් කරගන්ඩ බෑ. මම මේ ඔයාලගෙන් ඉල්ලගෙන යන සල්ලි වලින් තමයි එයාලව ජීවත් කරවන්නේ, නංගිලාට උගන්නනේ.

මම හොරයක් බොරුවක් වංචාවක් කරනවා නෙමේ. මට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දුන්න වාර්තා තියනවා. බොරුනම් අරන් බලන්ඩ (කොල කිහිපයක් ගෙනහැර දක්වයි, ඒත් ඉතින් කිසි කෙනෙක් ඇත්ත බොරු බලන්ඩ ඉල්ලුවේ නම් නෑ)

මට කීයකින් හරි උදව්වක් කරොත් පිං සිද්ද වෙයි, මම මේ ඉල්ලන්නේ බොන්ඩ කුඩු ගහන්ඩ නෙමෙයි. මගෙ අම්මාට නංගිලාට කන්ඩ දෙන්න, උගන්නන්ඩ, එයාලව ජීවත් කරවන්ඩ"




මෙච්චර වෙලා ඇන්ජිම ලඟ ඉඳන් කතා කරපු ඔහු දැන් කෙමෙන් කෙමෙන් බසය තුලින් ඇවිදගෙන එයි.
අපොයි, කැපුම් තුවාලෙ විතරක් නෙමෙයි, මේ පුද්ගලයට ඇවිදින්නත් අමාරුයි වගේ. අමාරුවෙන් අල්ලගෙන ඇවිදින්නේ. වැටෙන්ඩ විසි වෙන්ඩත් යනවා.

පව් !!!


මම හිටපු හරියට ආපුහාම මමත් කීයක්ද මන්දා දුන්නා.මම හිටියෙ බස් එකේ මැද හරියට වෙන්ඩ. මාවත් පහු කරන් ගිහිල්ලා පස්සා දොර ගාව ඉදන් ඔහු මෙහෙම කිව්වා

"ඇත්තටම කීයක් හරි දුන්න අයට ගොඩක් පිං, එත් ඉතින් මේ රුපියලේ දෙකේ කෑලි වලින් නම් ජීවත් වෙන්ඩ තියා මොකවත් කරන්ඩ අමාරුයි, ඒවායින් කමක් නෑ කොහොමහරි දුන්නානේ. 
නොදුන්න අයට නම් ඉතින් කියන්ඩ වෙන්නේ, කිසිම කරදරයක් දුකක් වෙන්ඩ එපා කියලා, එහෙම දුන්නේ නැති අයට ඉතින් ගෙවල් ගාව අයගෙවත් පිහිටක් නැති වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. මම යනවා,  සම්මා සම්බුදු සරණයි."

බස් එකේ පිටිපස්සේ පඩිපෙලින් කව්ද අමාරුවේ බහින සද්දේ ඇහුණා.

එච්චරයි !!!

බස් එකම නිස්සද්දයි. තනි තනිව වෙච්ච දේ මෙනෙහි කරනවා ඇති. මමත් එහෙමම කරලා, අනක් ගුණක් නැති එකෙක් කියලා හිත හිත එන්ඩ ආවා. ගෙදර ඇවිත් සිද්දිය අම්මා එක්ක කිව්වහම අම්මා කිව්වා එයාටත් දවසක් මේ අත්දැකීම ම ලැබුනා කියලා.

සම්බොඩි පීපල් බොම්බෙලි කරවල !!!

කියන්නේ  ඕකට තමයි කියලා, අපිත් ඉතින් ඒ සිද්දිය ටී ටයිම් එකෙන්ම අමතක කෙරුවා. මම කොහොමත් උදෙන් ඉස්කෝලෙ යනවා. මොකද ඉතින් පමා උනොත් වාහන තදබදේට අහු වෙනවා. කොළඹ පාරනේ. අර ප්‍රසිද්ධ බාලිකා පාසල හින්දා තදබදේ වැඩී. මොකද ඉතින් සමහර සමහර අම්මලා උදේට එයාලගෙ ගෑණු දැරිවියන්ට කවන්නේ, කොන්ඩේ ගොතන්නේ ඉස්කොලේ ඉස්සරහ තියාගෙනනේ.

හා ඒවායින් වැඩක් නෑ. මම කොහොමහරි උදේන්ම ඉස්කොලේ එනවා.  බෝ ගහ ලඟින් බස් එකෙන් බැහැලා, රත්නගිරිය පිටිපස්සෙන් තියන පාරේ ගිහින් පුත්තලම් හංදියට ඇවිත්, මීගමුව පාරේ යන්ඩ එපැයි.ඔන්න දවසක් උදෙන්ම ඉස්කොලේ යනවා. පාන්දර හින්දා ටවුමේ සෙනග අඩුයි. ලේක් ස්ටුඩියෝ එක ගාව ඉන්නවා කුඩ, සපත්තු මහන ඈයෙක්. එතනින්ම ඇතුලට තියනවා පොඩි දෙබොක්කක් වගේ පාරක්.(ඔව් මහ වීදියට වැටෙන පාර තමයි ) මම ඒ හරිය පහු කරන්වාත් එක්ක ඒ පැත්තේ දෙබොක්කේ ඉදන් කොලු ගැටයෙක් වේගයෙන් දුවගෙන එනවා, පිටිපස්සෙන් තව එකෙක් දුවගෙන එනවා. 

"අඩෝ @%#&%%& නැවතියන්, අපෝ උඹ නම් මහ $%^#@. උදේ පාන්දරම පටන් ගත්තාද? ඔහොම කෙලින් ඉන්ඩවත් බැරුව බස් වලට ගොඩ වෙන්ඩවත් පුලුවන්ද?"

පිටිපස්සෙන් දුවන් ආපු කෙනා ඒ විදිහට කෑ ගහගෙන ඇවිත් අනික් එක්කෙනාගේ අතේ තිබ්බ මොකද්ද එකක් උදුර ගත්තා.

"ඒ දීපන් #&^^$^#%, උදෙන්ම ගැහුවහම තමයි ත්‍රිල්." 

අනෙකා උත්තර දෙයි. 

අපොයි !!! 

ඉස්සෙල්ල දුවන් අවේ අර බස් එකේ ඉල්ලගන්ඩ ආපු කෙනා නේද? හැඩරුව, මූණ, ඒ මදිවට අර 2K පේන්ට් එක ගහපු කොන්ඩේ. ඒත් මිනිහට හරියට ඇවිදින්න බැහැනේ. නෑ නෑ නෑ  මේ ඒ කෙනාම තමයි.  මගේ මතකය එච්චරම නරක නෑ, (එක පාරටම මතක් වෙන්නේ නැත්තේ නේල් කටර් එක තිබ්බ තැන විතරයි.) 

මට සිද්දිය තෙරෙන්ඩ වැඩි වෙලා ගියෙ නෑ. මමත් ඉතින් මෙවා හිත හිත ඉස්කොලේ ගියා. එදායින් පස්සේ මට මේ පුද්ගලයව කීප වතාවක් බස් වලදි මුන ගැහුණා. හැබැයි පාන්දර නම් හම්බුනේ නෑ. කොහොම උනත් මම එදායින් පස්සෙ මම කීයක්වත් දුන්නේ නෑ. එත් ඉතින් මිනිහගෙ ස්තුතියි !!! කිරිල්ලයි සාප කිරිල්ලයි නම් නැවතිලා නෑ.

ඔයාලටත් මෙයාව හම්බෙලා ඇති. මේක ඇත්ත සිද්දියක්. කොච්චර ඇත්තද කියනවානම් තාමත් යාවජීවයි. මම මේ පුද්ගලයව ඊයෙත් (8/12/2013) දැක්කා. ඒකයි ලියන්ඩ හිතුනේ. එක එක චරිත තමයි.

නන්දසේන රත්නපාල මහත්තයගේ "ශ්‍රී ලංකාවේ යාචකයා" පොතෙත් මේ වගේ චරිත, සිද්දි ගැන ගැඹුරු සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් කරල තියනවා. පුලුවන්නම් හොයන් කියවන්ඩ,
යාචකයා ගැන එහෙමයි, ශෝට් ලීව් ගැන තාම කෘතියක් නම් පලවෙලා නෑ. ඒවා ටිකක් ප්‍රසිද්ධ රහස්.



.....................................................................................................................................
ප. ලි.
ඇත්තටම අපේ කෝළම්, විගඩන් වගේම අපි කරන කියන හොඳ දේවල් ඔක්කොම ඇතුගල උඩ වැඩ ඉන්නා බුදු පිළිම වහන්සේ උපේක්ෂාවෙන් බලා ඉන්නවා. මට මේ ගීතය අහන්ඩ හම්බෙලා නම් ගොඩක් කල්, මේක ලියද්දි මතක් උනා.

----> ඇතුගල බුදු පිළිමේ ගීතය 

වළා අතුල ගිරි මුදුනේ
ගලා හැලෙන සඳ එළියේ
යොමා දෑස් මුලු නුවරට බැලුම් හෙලන්නේ
ඇතුගල බුදු පිළිමේ...................

සදා නොනිමෙනා තුරඟ තරඟ කරමින්
පතා විජය ජය සටන් කරයි නුවරුන්
බලා ඔවුන් දෙස කරුණා බර දෑසින්
මහ කලු ගලක බවුන් වඩයි සමිඳුන්

ලබා නේක දුක් සිතින් හඬයි නුවරුන්
හිසින් දරාගත් නොනිමෙන ගිනි දකිමින්
නිවා ඒ ගිනි කඳුලු සීතල දිය දහරින්
මහා මෙරක් සේ බලා හිඳී සමිදුන්








Thursday, December 5, 2013

වටලප්පම



"ලොකු පුතා.. ඔය හූනියං පෙට්ටිය ඉස්සරහට වෙලා හිටියා ඇති, මට මේ හකුරු ටික පොඩි පොඩි කෑලි වලට කපලා හරි කොහොමහරි කුඩු කරලා දෙන්ඩ, මල්ලිට කියන්ඩ පොල් ගාලා දෙන්ඩ කියලා, නැත්නම් හදන්නේ නෑ
කන්ඩ නම් පෝළිමේ ඉන්නවා, උයාගන්ඩ නම් සත පහක උදව්වක් නෑ"
 (සහතික ඇත්ත, මේක ඉතින් හැමදාම ඇහෙන අම්මගෙ සිංදුවනේ.....)

හැමදාම කන බත් වගේද? උදව් නොකර කොහොමද? මේ ලේසි පහසු කෑමක්ද? 

මේ "වටලප්පන්"

දිවි හිමියෙන් උදව් කරන්ඩ ඔනේ කියන හැඟීම ඉතින් අක්මාවෙන්ම ආවා. බුකියේ සැරිසැරීම වගේ සියලුම වැදගත් වැඩ කටයුතු අතපහු කරගෙන ඉතින් මමත් වැඩේට සප් එකක් දෙන්ඩ ගියේ  වෙන හේතුවක් හින්දා නෙමෙයි, 

"වටලප්පන්" හින්දා.

මල්ලිත් ඉතින් කියව කියව හිටපු පොතත් පැත්තකින් තියලා එහෙම කුස්සිය පැත්තට ආවේ පොල් ටිකක් ගාලා දෙන්ඩ කියලා වෙන මොකවත් හින්දා නෙමේ, 

"වටලප්පන්" හින්දා.

ඒ වර්ගයේ "වටලප්පන්" හදන රෙසිපිය ඉතින් මේ වගේ එව්වගේ දාලා කොහොමද? රහසිගත වට්ටෝරුවකින් හැදුවා කියමුකෝ. පොඩී අස්පට් එකකට උනේ මට දුන්න හකුරු බෑ දෙක කුඩු කරලා ඒ ප්‍රමාණේම ආපහු දෙන්ඩ බැරි උන එක, දෙන්ඩ බැරි උනේ ඇයි කියලා අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑනේ. (කොහොමහරි ඉතින් ඉස්සර ඉඳන්ම Fruit salad වලට පළතුරු කපන්ඩ නම් මාව ගන්නේ නෑ)

"වටලප්පමේ" මූලික ඉදිකිරීම් කරයුතු ඉවර වෙද්දී හවස 5.30 ට විතර ඇති. දැන් ඉතින් මේක අයිස් පෙට්ටියේ දාලා කූල් කරන්ඩත් එපැයි. ඒකටත් පැය එකහමාරක් දෙකක් යයි කියලා අම්මා කිව්වා, ඒවා කොහෙද අපිත් එක්ක කියල ඉතින් අයිස් පෙට්ටියේ උඩ කෑල්ලට දැම්මා ඉක්මනින් කූල් වෙන්ඩ. කූල් එකත් වැඩීම කරා

 ( දැන් ඉතින් හිතන්ඩ එපා මුන් දෙන්න "වටලප්පන්" දැකලා නෑ කියලා, මුන් දෙන්නගෙන් එකෙක් වැරදිලාවත් රටේ ජනාධිපති උනොත් "වටලප්පන්" හදන්ඩ දාන එව්වගෙයි අයිස් පෙට්ටි වලයි බදු අඩු කරලා, රටට සහනයක් සලසයි කියලා. කොහොමෙන් හරි  "වටලප්පන් "එක්ක ජම්මාන්තර බැඳීමක් තියනවා කියලා හිතාගන්ඩකෝ, කොයි ඉස්පෙසල් කෑමටත් එහෙම තමයි ආයිබොවන්ඩ, මොකද ඉතින් හැමදාම කන බත් වගේද ඈ.... නෑනේ )

ඔන්න දැන් වටලප්පමත් රෙඩි. මලයා නම් ඉතින් සුපුරුදු ලෙසම වැඩේට බැස්සා. මම කැවේ නෑ, අම්මයි අප්පච්චී කනකොටම කනවා කියලා. වටලප්පන් ගොඩක් එක පාර කන්ඩත් බෑ කියලා ඉතින් අපි අත්දැකීමෙන්ම දන්නවා. මල්ලිත් ඉතින් පුලුවන් තරමට කාලා පැත්තකට උනා.මලයාට පුලුවන් තරම සෑහෙන තරමක් කියලා ඉතින් මිනිහා ගැන දන්නෝ දනිති. මටත් ඉන්ඩම බෑ, අම්මලා දැන්මම කන පාටකුත් නෑ.

මමත් ඉතින් සුට්ටක් බෙදාගෙන කකා ඉන්නකොට (වටලප්පන් කනවා කියලා බුකියෙ ස්ටේටස් දාන්ඩ, ටුවීට් කරන්ඩ තරම් මාව පල්ලෙහට වැටිලා නෑ කියල කියන්ඩත් එපැයි) මලයා මට ඉස්සරහ තිබ්බ පුටුවේ වාඩි වෙලා එහෙම

 "අයියේ මාව කසනවා වගේනේ, පලුත් දාලා රතු වෙලා" 

කියලා කම්බුලයි බෙල්ලයි පෙන්නුවා, දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මට සිද්දිමන්ට් එක තේරෙන්ඩ වැඩි වෙලා ගියෙ නෑ, මම ඉස්සෙල්ලාම කරේ මම කකා හිටපු ඒ රස වටලප්පම පැත්තකින් තිබ්බ එක, තව ටිකකින් මටත් මේ භයානක ඉරණමට ගොදුරු වෙන්ඩ වෙනවනේ ඉතින්. ( මීට අවුරුදු ගානකට කලින්, මට මතක හැටියට මම 4 වසරේ ඉද්දී මඟුල් ගෙදරකදී වැරදිලා මොනවද කාලත් මේ වගේම සිද්දියක් උනා කියලා මතක් උනා. )

ටිකකින් මලයා කසන්ඩ ගත්තා ඉතින් නැටුමක් වගේ, කෑ ගහ ගහ කසනවා. මලයා කසපු කැසිල්ල තමයි කැසිල්ල, කොල්ලා ඉදිමිලා රතු වෙලා. අම්මා පෙත්තක් දුන්නත් හරි ගියේ නෑ. මටත් කසන්ඩ ගත්තා, හැබැයි මල්ලීට තරම් දරුණු නෑ. අර බෙහෙත් පෙත්තට ටිකකින් අඩු උනා, ඒ මම වටලප්පන් ටිකක් කාපු හින්දා වෙන්ඩ ඇති.

දැන් ඉතින් මොනා කරන්ඩද? බෙහෙත් ටිකක් ගන්ඩ යමු, කියලා හතර දෙනාම ඉතින් ලෑස්තිවෙලා රෑ ම පිටත් උනා. මම ඉතින් දන්න සිල්ප ඔක්කෝම දාලා වාහනේ දැක්කුවේ පොලිස් මාමෙක් නැවැත්තුවත් අප්පච්චි මගේ පැත්තට කතා කරනවා කියලා දන්න හින්දා. අනික ඉතින් ඇතුලේ ඉන්න එකෙක් කසනවෝ, දනවෝ , වමනේ යන්ඩ එනෝ කියලා කෑ ගහද්දී කොහොම හෙමින් ගමන්ද ආයිබොවන්ඩ.

වටලප්පන් කාලා උන සන්තෑසියක් මේ කිව්වට පස්සේ ඩොට්ට අංකලුත් බෙහෙත් පෙති දෙකක් එවලෙම දීලා කැසිල්ල අඩු කරා, එ උනාට ඉතින් නිට්ටාවටම නැති උනේ නෑනේ. බෙහෙත් දෙන ගමන් ඇහුවා වටලප්පන් වලට ජෙලටීන් දැම්මද කියලා, අම්මත් ගත් කටටම ඔව් කිව්වා. සමහර අයට ජෙලටින් ඇලජික් ලු.  මමයි අප්පච්චීත් මහා පරිමාණයෙන් කෑවනම් මේ ඉරණම තමයිලු. (මටත් ඉතින් ලාවට කැසුවනේ, වෙලාවට අප්පච්චී කැවේ නැත්තේ)කොහොමෙන් හරි ඉතින් මල්ලිව තාම ලාවට (ලාවට කිව්වට ලාවටමත් නෙමේ, ඉස්සෙල්ලට වඩා අඩුයි ) කසනවා. ආපහු ගෙදර එන ගමන් මලයා කෑ ගහලා......

"මම ඔය කොම්පැණිය කුඩු කරනවා, ඕක හොයාගත්ත කෙනා අහු උනොත් දත් ගලවලා හකු පන්නලා බඩවැලේ වංගු කෙලින් කරලා, අක්මාවේ හැඩේ වෙනස් කරලා, බෙල්ල කරකවලා @%&%$(&%@" 

කියලා පටන් ගත්තේ නැතෑ. මොනා උනත් ඉතින් එදායින් පස්සේ අපෙ ගෙදර වටලප්පන් තහනම් වචනයක් උනා. වටලප්පමට කසනලප්පන් කියන්ඩත් අමතක කරේ නෑ, බෙහෙත් වලින් කැසිල්ල නම් අඩු වෙලා සනීප උනා, එත් ඉතින් සනීප වෙනකන් මලයා අර ජෙලටින් කොම්පැණියයි, ඒවා හොයා ගත්ත කෙනයි සෑහෙන වාර ගානක් මතක් කර කර පිං දුන්නා, ගුණ කථන කරා.

අම්මා ගෙදර ආවට පස්සේ කිව්වේ ඒ වටලප්පන් රෙසිපියම නෙමේලු, කොහෙන්ද මන්දා පත්තරේකින් අහුලගත්ත එකක් ලු. ඒක හින්දා කසනලප්පන් කිව්වට ඉතින් අව්ලකුත් නැනේ

අන්තිමට ඉතින් ගෙදර තිබ්බ ඒ සුන්දර රස කසනලප්පන් මෙන්න මෙහෙම ඉතුරු වෙලා තිබ්බා
(මලයා කාපු පොඩ්ඩ පේනවනේ, මමත් පොඩ්ඩක් කෑව තමයි, වැඩිහරිය මල්ලිගේ වගකීම)











Thursday, November 28, 2013

මැව්වාද?



මට අද නන්දා මාලිනී නෝනගේ "ආදම් ඒවා මැව්වේ අපී අපී..." ගීතය අහන්ඩ හම්බුනා. මම ඒ ගීතය මුලින්ම ඇහුවෙ අද. මාර අර්ථයක් තියන ගීතයක්. ඇත්තටම හිතන්ඩ දේවල් ගොඩක් තියනවා. මුලින්ම කියන්ඩ ඕනා මම මේ ලිපිය මෙව්වා කරන්නේ (ලියනවා කියන්ඩ බෑනේ) කිසිම ආගමකට, සාස්තෲවරයෙකුට අවමානයක් කරන්ඩවත්, හෙලා දකින්නවත් සමච්චලයකට ලක් කිරීමට නෙමෙයි. මම ලියන්නේ මට හිතෙන දේ. මම බෞද්ධයෙක්. ඒත් මම බුද්ධ දර්ශනය ගැන හරියට දන්න කෙනෙක්වත් ඒ සම්බන්ධව විශාරදයෙක්වත් නෙමේ. ඒ උනාට මට මේ ලිපිය ලියන්ඩ හිතිලා ගොඩක් කල්.ආගමකට අගෞරව කරයි කියන සංකල්පය නිසයි පමා කලේ. අදනම් ලියන්ඩම හිතුනා.

මට මතක ඇති කාලේ ඉදන් අවුරුද්දේ සමහර කාල වලට ගෙවල් වලට කන්ඩායම් විදිහට කස්ටිය එනවා කාගේද පණිවිඩයක් අරන්. මම නම් එයාල එනවට කැමතී, මොකද ඉතින් තේකක් එහෙම දීලා කතා කර කර ඉන්ඩ පුලුවන්නේ. එයාලා ඉතින් ලේසියෙන් යන කස්ටියත් නෙමේනේ, ඉතින් කම්මැලිකමේ ඉන්න වෙලාවක ආවොත් ඔන්න ඔහෙ කතා කර කර ඉන්නවා. එයාලටම එපා වෙලා යනකන් (එපා උනත් එයාලා නෙමේ යන්නේ)

එයාලගේ ඔය මැවුම්වාදය, යක්ෂ සංකල්පය, සියල්ල යමෙක් විසින් පාලනය කිරීම වැනි සංකල්ප තියනවලුනේ. (මම දන්න හැටියට, මම වැරදි නම් කරුණාකරල කියන්ඩ ) මම දන්නේ නැති දේවල් ගොඩක් තියනවා මේ කතා කරන උදවියගේ වාග් මාලාවේ.
මුලින්ම මැවුම්වාදය ගමුකෝ,

මට මේ ප්‍රශ්න තියනවා, ඒ දේවල් දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.

1.මැවුම්වාදය ගැන කතා කරනකොට, නූතන විද්‍යවෙන් ඔප්පු කරපු පරිණාමවාදය බොරුද? මේ සියල්ල            ඉබේ පහළ උනාද?

2.ලෝකය යමෙක් මැව්වේ නම්, මවපු කෙනාව මැව්වේ කවුද? ඒ මවපු පුද්ගලයාගේ බිහිවීම විස්තර කර            හැකිද?

3.එහෙනම් පරිසරයට අනවශ්‍ය දේ මැව්වේ ඇයි?

4.යමක් සිදුවීම කාගේ හෝ කැමැත්තට අනුව සිදු උනා කියලා අත පිහදාගන්න පුලුවන්ද?

5. කැමැත්තට සිදු වෙනවානම් විපත්, කරදර, දුක ගෙනත් දීමත් කැමැත්තේම කොටසක්ද?

6.කාටවත් ඕනා විදිහට ලෝකය පාලනය කරන්ඩ පුලවන්ද?

7.තමා කරගත් අකුසල කර්මයන් සෝදා හැරිය හැකිද?

බෞද්ධ දර්ශනයේ නියාම ධර්ම, හේතුඵල වාදය, අටලෝ දහම වැනි මාතෘකා ඔස්සේ "ඉතා ගැඹුරින්, දීර්ඝ ලෙස" සලකා බැලෙන ඉහත කී ප්‍රශ්න සහ ඒවාට ලැබෙන පිළිගතහැකි ප්‍රායෝගික පිළිතුරු සමඟ සැසදීමේදී අර ගෙවල් වලට එන ඈයෝ දෙන පිළිතුරු ....................

(මා මින් නවතිමි, ලිපියෙන් කාටහරි අගෞරවයක් උනා නම් සමා වෙන්ඩ. ඉහත ප්‍රශ්න වලට පිළිතුරු දන්න ඈයෝ කියල දෙන්ඩ )





Tuesday, November 26, 2013

ඉවසීමේ සීමාව

තව පොඩ්ඩ දුරනේ, ඉවසන් යනවා. මෙච්චර දුරක් ආපු එකේ ඕක අල්ලන් යන්ඩ බැරි වෙන එකක් නෑ. ඉවසපන් තව හිටපන් තව ටිකක් ඉඳල බලමූ, ඉවසන්නම බැරි උනොතින් බස් එකෙනුත් බැහැගනිමූ. හරි හරි හිතිච්ච සිද්දිය තමයි. හැබැයි පොඩි වැඩේ නෙමේ, මහ වැඩේ.

(කලින්ම කියන්ඩ ඕනා, මෙය කක්කා කථාවක් බැවින් සුලු කම්පනයන් දරා ගත නොහැකි සංවේදී අය කියවීමෙන් වළකින්න, කියවපු අය ඔබේ අසරණ නොදරුවාට මෙහි ඇති භයානක කම කියල දෙන්ඩ, දැන් ඉතින් අහන්ඩ එපා නොදරුවන් නැති උන් මොකද කරන්ඩ ඕන කියලා)

විසිසේ කණුවෙන් ඔපීසි බස් එක අඳින්නේ හතරයි කාලට, හතරහමාරට ඔපීසීයේ අස්සන් කරලා එහෙම හතරයි කාලට අදින බස් එකේ එනවා. (ඒ කොහොමද කියලා ඉතින් අහන්ඩ එපා, මට මතක නෑ) නොසෑහෙන්ඩ සෙනගත් බස් එකේ හිටියා. කොන්දොස්තර මහත්තයගේ දිරි ගැන්වීමෙන් ඇඟට අලුත් පණක් අරන්, දෙපැත්තේ කස්ටිය ඉඩ දෙද්දී ඉස්සරහට ගියා. සෑහෙන දුරක් යන්ඩත් එපැයි.

කොච්චිකඩේ එහෙමත් පහු වුණා. දංකොටුව හරියට එද්දී ආමාශ බොක්කේ අවපීඩන තත්වයක් නිසා සුලු සුලු කැළඹීම් තන්වයක් දැනෙන්න ගත්තත්, මේක අපරභාගය හෝ සන්ද්‍යා කාලය හින්දා කැළඹීම අඩු වෙලා යයි කියලා හිතලා ඔන්න ඔහෙ ඕන බිත්තර රොටියක් කියලා ඉතින් එන්ඩ ආවා.

මොන................

ඉහළ කොට්ටරාමුල්ල, තුම්මෝදර කිට්ටු වෙද්දී අර අවපීඩන තත්වය ටික පල්ලෙහට යනවා කියලා තේරුනා. ඒ නම් පහව යන ලකුණු නෙමේ, පහ වෙන ලකුණු කියල ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනා නෑනේ. ඕවත් වැඩද මල්ලී ඕවත් වැඩද කියල ඉතින් බ්‍රේක් පෑඩ් දෙකෙන් හබ් එක එහෙම අල්ලලා කෝකටත් ලෑස්ති උනා. (තේරෙන විදිහට තේරුම් ගන්ඩ )

නාත්තන්ඩියටත් අවා කියමුකෝ. දැන්නම් ඉන්ඩම බෑ. සෙනගත් පිරිලා. සෙනග මැද්දෙන් පීරගෙන ඇවිත් දොරට බැස්සා (සෙනග මැද්දෙ තෙරපෙද්දී තියන සනීපෙ කියන්ඩ ඕනා නෑනේ, බ්‍රේක් පලු වල පිහිට තමයි ) ඔහොම ඉතින් කොහොමහරි ඉවසෙගෙන ඉතිරි දුරත් ඇවිත් බස් එකෙන් බැස්සා.

සික්කේ, මේච්චර වෙලා මේ කියෙව්වේ මනුස්සයෙක් කක්කා බරේ බස් එකේ ආපු හැටි දැනගන්ඩද කියල හිතුනද? හොඳ හොඳ සෙල්ලම එළි වෙන ජාමෙට කියනවනේ.........

බස් එකෙන් බැහැලා ගෙදරට මීටර හැත්තෑපහක් විතර පයින් යන්ඩ ඕනා අතුරු පාරක. වෙලාවත් 7.45 ට විතර ඇති. මෙතන ඉන්ඩ යෑ. යන්ඩත් එපැයි. ඔන්න ඉතින් බත් කන කකුළ පෙරට තියලා යනවා, අතර තුරේ ගෙවල් දෙකක් විතර පහු කරන්ඩ ඕනා අපෙ ගෙදරට යන්ඩ. එක ගෙයක් පාලුයි, වහලා දාපු එකක්. ගස් අස්සෙන් අපේ ගෙදර ලියිට් එකත් පේනවා.

දැන්නම් ඉන්ඩම බෑ, කං කඩා වැටිලා, මුලු ඇඟම පණ නැතුන ගියා වගේ උනා. ඔන්න ඔහේ ඕන මුංකැවුමක් කියලා අර පාලු ගේ ඉස්සරහා පාරේ වාඩි වෙලා වැඩේ කරා (තිබ්බ හදිස්සියට මම කලිසම් ගලවගත්තේ කොහොමද කියලා තාම කල්පනා කරනවා )

හෝද ගන්න විදිහකුත් නැති එකේ ඉතින් දෙල් කොලයක පිහිට තමයි. කලිසමත් කරේ දාගෙන ගෙදර ලියිට් එකට මාට්ටු වෙන්නේ නැතුව ලිඳ පැත්තෙත් ගිහින්, එලියෙ වැසිකිළියෙන් හෝදගෙන එහෙම (එතකොටයි දැක්කේ කලිසම් නැවත ඇඳීමට බෑ කියලා, එහෙමම ඒවත් ලිඳ ලගින් හෝදලා) වැලේ වනලා තිබ්බ එකම එක රෙදි කඩමාල්ල වූ මගෙ ටී ශට් එකත් ඉනේ ඔතාගෙන

"අම්මේ අම්මේ"

කිව්වා. (එදා රෑ අප්පච්චී රැස්වීමකට යනවා කියලත් ඒ අස්සෙ මතක් උන හින්දා)
එකම දරුවගේ කටහඬ පිලිකන්නෙන් ඇහුන නිසා අම්මත් දාපි ගේ වටේම ලයිට් ටික.

"ඕවා නිමන්ඩෝ ඉක්මනට, මම ලයිට් දාන්ඩ කිව්වෙ නෑනේ, නිමන්ඩකො අප්පා"
"ඇයි පුතේ ?"
"ඒ පැහිච්චකන් වලින් වැඩක් නෑනේ කියන දේ අහලා ඔවා නිමලා මට සරමක් අරන් එන්ඩ."


සරම ඇඳගෙන අම්මගෙන් ටෝච් එකත් ඉල්ලගෙන උදැල්ලත් අරගෙන ඉතින් ආයෙත් පාලු ගේ පැත්තට ගියා.

ඔන්න සිද්දිය, මේක ඇත්තම ස්ද්දියක් අඳුරන කෙනෙක්ට උන. මෙහෙම ඉවර කරමුකෝ පරණ සොලෝකයකින්,

කවුද                   වැසිකිළියේ
පොඩ්ඩක් ඉන්න          එළියේ
ඉවසන්න                  බැරියේ
මෙන්න හිටගෙන යනවා එලියේ




Monday, November 25, 2013

උත්තමාචාරය.


මට මේ ලඟදි යාපනේ යන්ඩ හම්බුනා. සමන් කුමාර රාමවික්‍රම මහත්තයලා ඒ කාලේ නිතරම ටීවි එකේ කියපු, පෙන්නපු පැති පහු කරන් තමයි ගියේ. මුලතිව් ඉඳන් නන්තිකඩාල් කළපුව හරහා පුදුකුඩු ඉරිප්පු වගේ පැති වලත් ගියා. ඒවා අක්කර ගානක් ඈතට පේන හිස් ඉඩම්, නැත්නම් ඉතින් මඩ පිරිච්ච කළපු. මේවගේ තමයි ඉතින් අපේ රණවිරුවෝ යුද්ධ කරල දිනුවේ. මේ වගේ පැති වල තමයි එයලා ඉදිරි ආරක්ෂක වළලු ගහගෙන යුද්ධ කරේ. 


Call Of Duty, Battlefield, Ghost Recon ගේම් නිකන් ඇත්ත වගේ තිබ්බට සිරා ගොන් පාට් කියලා හිතුනා (මම ගේම් ගසන්නෙක් නොවෙමි ) ජාතික වීරයො වගේ ඒ ගේම් ඉවර කරා කියන අපේ උදවිය මේ වගේ ගේම් එකකට ආවනම් බලන්ඩ තිබ්බා :පි. හමුදාවේ අයියලා කියපු කතා, විඳපු දුක් අහපුහාම මට නම් මේ යුධ ජීවිතේ කට්ට කන්ඩ බැරිවෙයි කියල හිතෙනවා. (මෙතන මට ඕනනම් ඉතින් ලියන්ඩ තිබ්බා මමත් පුලුවන්කමක් තිබ්බනම් සොල්දාදුවෙක් වෙලා මේ සටනට උදව් කරන්ඩ කියලා, ඒ උනාට ඉතින් පචයක් ලියලා "මම පොර" ජාතකය උපුටලා දක්වන්ඩ ඕනා නෑනේ) 


දැන් ආයෙත් කතාවට එමුකෝ, ගමනෙදි හමුදාවේ අයියලා ගොඩක් හම්බුනා, කතා කරා, යුද්ධෙ ඉවර වෙලා අවුරුදු 5ක් ගත වෙලා තිබ්බත් එයාලගෙ මොරාල් එක නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ, කිසි දෙයක් අමතක වෙලත් නෑ. තාමත් ඒවා රකින්නේ ඉස්සර සිංහල බෞද්ධයෝ දළදා වහන්සේ රැකගත්ත විදිහට. ( දැන් නම් සිංහලයට ලාවට වගේ සිංහල කියලා මතකයි, බෞද්ධ කියල නම් අමතකයි වගේ). යුද්ධ කාලේ හමුදාවේ අයියලා කැපකිරීම ගොඩක් කරලා, දැනටත් ඒ කැපකිරීම කරනවා. අපි දකුණේ ඉඳන් මොනවද කරන්නේ කියල හිතුනා. හමුදාවට අපහස කරපු, කරන දේශපාලුවො ගැන මට චී චී කියලා ගොඩක්ම හිතුනේ එදා, මොකද ඉතින් අතරමගදි මැදවච්චිය එහෙමත් පහු කරානේ, කිලිනොච්චිය හරහා නොගියත් ඒ කැත කතාව මතක් උනා.


විශ්වමඩු, පරනතන්, අලිමංකඩ, චාවකච්චෙරි හරහා යාපනේටත් අවා කියමුකෝ. අලිමංකඩ කියද්දි ඉතින් හසලක ගාමිණී මහත්තයා මතක් උනේ නැත්නම් ඉතින් ඒ කෙනා එක්කෝ පොඩි දරුවෙක් (පොඩි ළමයි මේවා දන්නේ නෑනේ, එකයි එහෙම කිව්වේ) නැත්නම් ඉතින් මානසික රෝගියෙක්, නැත්නම් සිංහලයෙක් නෙමෙයි.


යාපනේ නම් ඇත්තටම දියුණුයි. උතුරු වසන්තයද මොකද්ද මන්ද හින්ද කියන්ඩ නම් දන්නේ නෑ (කරුණාවෙන් සලකන්ඩ, මෙය ආණඩුවව කඩේ යෑමක් හෝ ආණඩුවේ රෙදි හේදීමක් නොවෙයි ) ඒ උනාට දියුණුයි (නාගදීපෙට යන්න ජැටිය දක්වා තියන පාර නම් හොඳ මට්ටමක නෑ. ඒකත් හැදෙනවනම් තමයි හොඳ, සැ.යු: දියුණුව කියලා අදහස් කරේ පාරවල් ගැන විතරක් නෙමෙයි ) , සාමකාමී. මිනිස්සුත් මානසික සුවයෙන් ඉන්නවා කියලා පේනවා. (දකුණේ මිනිස්සු ගැන මොන ආකල්පයක් තියනවද කියන්ඩ දන්නේ නෑ). 


යාපනේ ගිහින් අඹ කෑවේ නැත්නම් වැඩක් නෑ කියනවනේ, ඉතින් අඹත් කාලා තෝසෙත් කාලා ඉතින් බලන්ඩ තියන තැන් බලලා, වන්දනා කරන්ඩ ඔනි තැන් වන්දනා කරලා එහෙම සංගුපිට්ටි පාලම හරහා පුනරීන්, මන්නාරම පැත්තෙන් ගෙදර ආවා. මේ නිදහස වෙන කවුරුත් නිසා නෙමෙයි, හමුදාවේ අයියලා නිසයි. මෙතෙක් ඉතිහාසයේ යුද්ධයට උර දුන්, දිවි පිදූ, ආබාධිත තත්වයට පත් වු සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය. 


ප.ලි
ඔයාලට 2009/05/19 මතකද? එදා අපි රණවිරුවන්ව සමරපු හැටි මතකද? දේශයේ මුර දේවතාවො කියලා දේවත්වයෙන් සැලකුවා. ගීත් කිව්වා ලිව්වා, ඒ දවස් වල හමුදා නිළ ඇදුමක් ඇඳගත්ත රණවිරුවෙක්, කිහිලි කරුවෙන් යන රණවිරුවෙක්, ඇස් අන්ධ වුණ රණවිරුවෙක් දැක්කහම අපේ මයිල් කෙලින් උනා, පුටුවෙන් නැගිට්ට වුණා. ඒ බයට නෙමෙයි, ගෞරවයට.
ඒ එදා........................
"කවුරුහරි කෙනෙක් මේ මහත්තයට පුටුවක් දෙන්නකෝ ඉඳගන්න" , මට මේ වචන ටික ඇහුනේ පුද්ගලික බැංකුවක පෝළිමේ ඉද්දී. මමත් පස්ස හැරිලා බැලුවා, වයස අවුරුදු 28ක 30ක වගේ අයිය කෙනෙක් කිහිලිකරුවකට බර දීගෙන බිත්තියකට හේත්තු වෙලා හිටියා.
මේ අද......................

ගොඩ සුද්දී

මෙය කුරුණෑගල - අලව්ව බස් රථයකදී කණ වැකුනකි. (කණ් දීමක් නොව කණ අසලම සිට බෙරිහන් දීම නිසා ඉබේ මෙව්වා උන එකකි.)

"හානේ සෝ සුවීට් අනේ, කවදා කැප්චර් කරපු පික් එකක් ද? කියූට්, සෝ ලව්ලි මයි ඩියර්"
"ලාස්ට් වීක් එකේ පුතගේ කොන්සට් තිබ්බා, එදා තමයි පික් එක කැප්චර් කරේ, ඒත් මම ඩ්‍රෙස් කරන්න හිටියේ නෝමල් එකේ ට්‍රවුසර් එකයි ටී එකකුයි" 

හුටාය, මට දැන් මගේ කණට වෙන්න යන සන්තෑසිය ලාවට වගේ මෙව්වා වෙයි. තව කිලෝමීටර 5ක දුරක් යා යුතුය. ඔන්න ඔහෙ ඕන මසල වඩෙයක් කියලා කණට වඳින ගාථාව එහෙම කියලා සූදානම් උනා ඉතිරි දුර ගෙවන්ඩ.

"නෑ මෙයා, ඔයා ඔසරියට සෝ කියුට්."
"ඊස් දැට් සෝ, තැන්ක්ස් අනේ. ඒ උනාට ඔසරිය මාර පස්පයරින් අප්පා. මම නම් කැමතිම නෑ ඒක අඳින්න, අනික ටවුන් හෝල් එක එයාර් කන්ඩිශන් නෙමේනේ."

පිටිපස්සේ සීට් එකෙන් ඇහෙන මේ සංවාදය නිසා මට මේ ගොඩ සුද්දියන්ගේ මූණ බලන්ඩ ආසාවකුත් ආවා ඉතින්, බහිද්දි බලනවා, දැන් ඕක කරන්ඩ ගිහින් ඇදගෙන නාගන්ඩ ඕනේ නෑනේ කියලා ජනේලයෙන් ඈත බලාගෙන එන්ඩ ආවා.

"දැට්ස් ටෲ, ඒක නෙමේ ඉතින් පුතා හොදට පෆොම් කලාද අයිටම්ස් වල?"
"වයි නොට් හී ඊස් සෝ ටැලන්ටඩ් ඇට් බෝත් සිඟින් ඇන්ඩ් ඩාන්සින්, හී ඩිඩ් දැට් රියලි වෙල් අනේ, අයිම් සෝ ප්‍රවුඩ් ඔෆ් හිම්."

මටත් ඉතින් ලාවට කඩු හරඹ පුලුවන්ය. දන්න ශිල්ප දාලා විච්චේදනය කරලා සමච්චේදනය කරලා එහෙම, මැයගේ පුතන්ඩියාට සින්දු කියන්ඩත් නටන්නත් පුලුවන් බවත්, මැයට පුතණ්ඩියා ගැන ආඩම්බර බවත් තේරුම් ගන්ඩ පුලුවන් වීම ගැන ඉතින් අහිංසක සතුටක් භුක්ති වින්දෙමි.

"ඉතින් පුතා අයිටම් කීයකට පාටිසිපේට් කරාද මෙයා?"
"ඔන්ලි ටූ අනේ, සෝ සෑඩ් එබවුට් මයි පුවර් බොයි, හී ඊස් ද බෙස්ට් අමංග් ඕල් අදස්. එයාට ටැලන්ට් එකේ හැටියට ප්ලේස් එකක් හම්බුනේ නෑ, ෆේවරේශන් තමයි ඉතින්"
"ආ.......ඒ ඇයි?"
"බලන්ඩකො අනේ, මොන්ටිසෝරිය බාර ගෑනි පිදේනි තට්ටුවට යට වෙලා අපේ ලමයව කපලා මෙලෝ සින්දුවක් තියා තාලෙට අප්පුඩියක් ගහගන්ඩ බැරි කොල්ලෙක්ව මුදුනා කරගෙන හිටියෙ, වෙන මොකුත් නෙමේ ඒ කොල්ලගෙ අම්මන්ඩි මේ ගෑනිට තෑගි දෙනවා, අනිත් ළමයි ගැන කේලම් කියනවා, ගතු කියනවා, ඒ මදිවට එදා ඇවිත් හිටියෙ කිසි දෙයක් නොදන්න හීමිජ්ජි වගේ, මට නම් තූ කියලා හිතුනා"

ආ.... ඔය අවේ බූරු හම පොරවගත්ත කොටලුවා එලියට, බහින තැනත් ලං වෙලා. ආයේ මොකට මූණ බලන්ඩද, බැල් එක ඔබලා බස් එක හිටෙව්වහම බැස්සා.

ප.ලි : මටත් ඉතින් ඉංග්‍රීසියෙන් බඩ යන යාලුවොවෝ ඉන්නවා, සමහරු නම් ඉතින් වෙනස් උනේ එයාලගෙ ගෑල්ලමයි "පොශ්" හින්දා එයලාට ගැළපෙන්නලුනේ. (දන්නෝ දනිති ) ජයලාල් රෝහණ මහත්තයා තමයි මේකට නියම වචනේ කිව්වේ, "අමු ගොන්කම". ඒ වගේම අපේ දොඩම්පහල රාහුල හාමුදුරුව්වෝ දවසක් බණක දේශනා කරා "ඔය මමියෝ පපියෝ කියල උඩ පනින හැමෝටම බිම වැටුන දාට කියවෙන්නේ බුදු අම්මෝ කියලා" ලු.