උත්තමාචාරය.
මට මේ ලඟදි යාපනේ යන්ඩ හම්බුනා. සමන් කුමාර රාමවික්‍රම මහත්තයලා ඒ කාලේ නිතරම ටීවි එකේ කියපු, පෙන්නපු පැති පහු කරන් තමයි ගියේ. මුලතිව් ඉඳන් නන්තිකඩාල් කළපුව හරහා පුදුකුඩු ඉරිප්පු වගේ පැති වලත් ගියා. ඒවා අක්කර ගානක් ඈතට පේන හිස් ඉඩම්, නැත්නම් ඉතින් මඩ පිරිච්ච කළපු. මේවගේ තමයි ඉතින් අපේ රණවිරුවෝ යුද්ධ කරල දිනුවේ. මේ වගේ පැති වල තමයි එයලා ඉදිරි ආරක්ෂක වළලු ගහගෙන යුද්ධ කරේ.
Call Of Duty, Battlefield, Ghost Recon ගේම් නිකන් ඇත්ත වගේ තිබ්බට සිරා ගොන් පාට් කියලා හිතුනා (මම ගේම් ගසන්නෙක් නොවෙමි ) ජාතික වීරයො වගේ ඒ ගේම් ඉවර කරා කියන අපේ උදවිය මේ වගේ ගේම් එකකට ආවනම් බලන්ඩ තිබ්බා :පි. හමුදාවේ අයියලා කියපු කතා, විඳපු දුක් අහපුහාම මට නම් මේ යුධ ජීවිතේ කට්ට කන්ඩ බැරිවෙයි කියල හිතෙනවා. (මෙතන මට ඕනනම් ඉතින් ලියන්ඩ තිබ්බා මමත් පුලුවන්කමක් තිබ්බනම් සොල්දාදුවෙක් වෙලා මේ සටනට උදව් කරන්ඩ කියලා, ඒ උනාට ඉතින් පචයක් ලියලා "මම පොර" ජාතකය උපුටලා දක්වන්ඩ ඕනා නෑනේ)
දැන් ආයෙත් කතාවට එමුකෝ, ගමනෙදි හමුදාවේ අයියලා ගොඩක් හම්බුනා, කතා කරා, යුද්ධෙ ඉවර වෙලා අවුරුදු 5ක් ගත වෙලා තිබ්බත් එයාලගෙ මොරාල් එක නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ, කිසි දෙයක් අමතක වෙලත් නෑ. තාමත් ඒවා රකින්නේ ඉස්සර සිංහල බෞද්ධයෝ දළදා වහන්සේ රැකගත්ත විදිහට. ( දැන් නම් සිංහලයට ලාවට වගේ සිංහල කියලා මතකයි, බෞද්ධ කියල නම් අමතකයි වගේ). යුද්ධ කාලේ හමුදාවේ අයියලා කැපකිරීම ගොඩක් කරලා, දැනටත් ඒ කැපකිරීම කරනවා. අපි දකුණේ ඉඳන් මොනවද කරන්නේ කියල හිතුනා. හමුදාවට අපහස කරපු, කරන දේශපාලුවො ගැන මට චී චී කියලා ගොඩක්ම හිතුනේ එදා, මොකද ඉතින් අතරමගදි මැදවච්චිය එහෙමත් පහු කරානේ, කිලිනොච්චිය හරහා නොගියත් ඒ කැත කතාව මතක් උනා.
විශ්වමඩු, පරනතන්, අලිමංකඩ, චාවකච්චෙරි හරහා යාපනේටත් අවා කියමුකෝ. අලිමංකඩ කියද්දි ඉතින් හසලක ගාමිණී මහත්තයා මතක් උනේ නැත්නම් ඉතින් ඒ කෙනා එක්කෝ පොඩි දරුවෙක් (පොඩි ළමයි මේවා දන්නේ නෑනේ, එකයි එහෙම කිව්වේ) නැත්නම් ඉතින් මානසික රෝගියෙක්, නැත්නම් සිංහලයෙක් නෙමෙයි.
යාපනේ නම් ඇත්තටම දියුණුයි. උතුරු වසන්තයද මොකද්ද මන්ද හින්ද කියන්ඩ නම් දන්නේ නෑ (කරුණාවෙන් සලකන්ඩ, මෙය ආණඩුවව කඩේ යෑමක් හෝ ආණඩුවේ රෙදි හේදීමක් නොවෙයි ) ඒ උනාට දියුණුයි (නාගදීපෙට යන්න ජැටිය දක්වා තියන පාර නම් හොඳ මට්ටමක නෑ. ඒකත් හැදෙනවනම් තමයි හොඳ, සැ.යු: දියුණුව කියලා අදහස් කරේ පාරවල් ගැන විතරක් නෙමෙයි ) , සාමකාමී. මිනිස්සුත් මානසික සුවයෙන් ඉන්නවා කියලා පේනවා. (දකුණේ මිනිස්සු ගැන මොන ආකල්පයක් තියනවද කියන්ඩ දන්නේ නෑ).
යාපනේ ගිහින් අඹ කෑවේ නැත්නම් වැඩක් නෑ කියනවනේ, ඉතින් අඹත් කාලා තෝසෙත් කාලා ඉතින් බලන්ඩ තියන තැන් බලලා, වන්දනා කරන්ඩ ඔනි තැන් වන්දනා කරලා එහෙම සංගුපිට්ටි පාලම හරහා පුනරීන්, මන්නාරම පැත්තෙන් ගෙදර ආවා. මේ නිදහස වෙන කවුරුත් නිසා නෙමෙයි, හමුදාවේ අයියලා නිසයි. මෙතෙක් ඉතිහාසයේ යුද්ධයට උර දුන්, දිවි පිදූ, ආබාධිත තත්වයට පත් වු සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය.
ප.ලි
ඔයාලට 2009/05/19 මතකද? එදා අපි රණවිරුවන්ව සමරපු හැටි මතකද? දේශයේ මුර දේවතාවො කියලා දේවත්වයෙන් සැලකුවා. ගීත් කිව්වා ලිව්වා, ඒ දවස් වල හමුදා නිළ ඇදුමක් ඇඳගත්ත රණවිරුවෙක්, කිහිලි කරුවෙන් යන රණවිරුවෙක්, ඇස් අන්ධ වුණ රණවිරුවෙක් දැක්කහම අපේ මයිල් කෙලින් උනා, පුටුවෙන් නැගිට්ට වුණා. ඒ බයට නෙමෙයි, ගෞරවයට.
ඒ එදා........................
"කවුරුහරි කෙනෙක් මේ මහත්තයට පුටුවක් දෙන්නකෝ ඉඳගන්න" , මට මේ වචන ටික ඇහුනේ පුද්ගලික බැංකුවක පෝළිමේ ඉද්දී. මමත් පස්ස හැරිලා බැලුවා, වයස අවුරුදු 28ක 30ක වගේ අයිය කෙනෙක් කිහිලිකරුවකට බර දීගෙන බිත්තියකට හේත්තු වෙලා හිටියා.
මේ අද......................
No comments:
Post a Comment