කලකට ඉහත මමත්
දා වටේ පැදකුණු කරත්
එදා මෙන් අදත්
නොම කරනෙමි, පැදකුණු තවත්
රෝද හතර තියෙනවා මගෙ වාරුවට
තල්ලු කරති දරු තිදෙනා මාරුවට
හේවිසි නළා ඇහෙනවා මට පූරුවට
දෑත් එකතු කර වඳිනෙමි සීරුවට
ඇහෙන විටදි මට ඔබේ සාදූ !!! නාදේ
නගනෙමි මමත් මෙහි සිට සාදූ !!! නාදේ
හැකිනම් එක් වෙන්නට නගමින් සාදූ !!! නාදේ
පෙරමුණ ගන්නේ මම මයි, සාදූ !!! නාදේ
කසා වතින් රන් වැලි සෑ සරසන්ට
හිතෙනවා දහස් වාරක් මට ඔහෙ එන්ට
නැහැ දෙපයේ වාරුවක් බැහැ මට නැගිටින්ට
දැක්කොත් මාව, ඇවිදින් අත ගස්සන්ට
කසා වතක් වැඩමෙන විට ඔබේ හිසින්
ආසයි මටත් ළං වන්නට දෙපා මතින්
එය කල නොහැක, මම ලත වෙමි මගේ සිතින්
දෙගුරුන් හට මම පිං දෙමි, දැකලා ඇසින්
දත් නැති දා උක් දඬු ගිනි තපින්නද
පය නැති දා, දා පැදකුණු කරන්නද
ඇස් නැති දා, මේ කිසිවක් දකින්නද
මට හැකි දා, මේ සා පිං නොකලේද
![]() |
ප. ලි.
මේ සිදුවීම කැමරා කාච්යේ සටහන් වූයේ, 2013 උඳුවප් පොහෝ දින අනුරාධපුර රුවන්වැලිසෑය අභියසදීය.

No comments:
Post a Comment