"ලොකු පුතා.. ඔය හූනියං පෙට්ටිය ඉස්සරහට වෙලා හිටියා ඇති, මට මේ හකුරු ටික පොඩි පොඩි කෑලි වලට කපලා හරි කොහොමහරි කුඩු කරලා දෙන්ඩ, මල්ලිට කියන්ඩ පොල් ගාලා දෙන්ඩ කියලා, නැත්නම් හදන්නේ නෑ
කන්ඩ නම් පෝළිමේ ඉන්නවා, උයාගන්ඩ නම් සත පහක උදව්වක් නෑ"
(සහතික ඇත්ත, මේක ඉතින් හැමදාම ඇහෙන අම්මගෙ සිංදුවනේ.....)
හැමදාම කන බත් වගේද? උදව් නොකර කොහොමද? මේ ලේසි පහසු කෑමක්ද?
මේ "වටලප්පන්"
දිවි හිමියෙන් උදව් කරන්ඩ ඔනේ කියන හැඟීම ඉතින් අක්මාවෙන්ම ආවා. බුකියේ සැරිසැරීම වගේ සියලුම වැදගත් වැඩ කටයුතු අතපහු කරගෙන ඉතින් මමත් වැඩේට සප් එකක් දෙන්ඩ ගියේ වෙන හේතුවක් හින්දා නෙමෙයි,
ඒ "වටලප්පන්" හින්දා.
මල්ලිත් ඉතින් කියව කියව හිටපු පොතත් පැත්තකින් තියලා එහෙම කුස්සිය පැත්තට ආවේ පොල් ටිකක් ගාලා දෙන්ඩ කියලා වෙන මොකවත් හින්දා නෙමේ,
ඒ "වටලප්පන්" හින්දා.
ඒ වර්ගයේ "වටලප්පන්" හදන රෙසිපිය ඉතින් මේ වගේ එව්වගේ දාලා කොහොමද? රහසිගත වට්ටෝරුවකින් හැදුවා කියමුකෝ. පොඩී අස්පට් එකකට උනේ මට දුන්න හකුරු බෑ දෙක කුඩු කරලා ඒ ප්‍රමාණේම ආපහු දෙන්ඩ බැරි උන එක, දෙන්ඩ බැරි උනේ ඇයි කියලා අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑනේ. (කොහොමහරි ඉතින් ඉස්සර ඉඳන්ම Fruit salad වලට පළතුරු කපන්ඩ නම් මාව ගන්නේ නෑ)
"වටලප්පමේ" මූලික ඉදිකිරීම් කරයුතු ඉවර වෙද්දී හවස 5.30 ට විතර ඇති. දැන් ඉතින් මේක අයිස් පෙට්ටියේ දාලා කූල් කරන්ඩත් එපැයි. ඒකටත් පැය එකහමාරක් දෙකක් යයි කියලා අම්මා කිව්වා, ඒවා කොහෙද අපිත් එක්ක කියල ඉතින් අයිස් පෙට්ටියේ උඩ කෑල්ලට දැම්මා ඉක්මනින් කූල් වෙන්ඩ. කූල් එකත් වැඩීම කරා
( දැන් ඉතින් හිතන්ඩ එපා මුන් දෙන්න "වටලප්පන්" දැකලා නෑ කියලා, මුන් දෙන්නගෙන් එකෙක් වැරදිලාවත් රටේ ජනාධිපති උනොත් "වටලප්පන්" හදන්ඩ දාන එව්වගෙයි අයිස් පෙට්ටි වලයි බදු අඩු කරලා, රටට සහනයක් සලසයි කියලා. කොහොමෙන් හරි "වටලප්පන් "එක්ක ජම්මාන්තර බැඳීමක් තියනවා කියලා හිතාගන්ඩකෝ, කොයි ඉස්පෙසල් කෑමටත් එහෙම තමයි ආයිබොවන්ඩ, මොකද ඉතින් හැමදාම කන බත් වගේද ඈ.... නෑනේ )
ඔන්න දැන් වටලප්පමත් රෙඩි. මලයා නම් ඉතින් සුපුරුදු ලෙසම වැඩේට බැස්සා. මම කැවේ නෑ, අම්මයි අප්පච්චී කනකොටම කනවා කියලා. වටලප්පන් ගොඩක් එක පාර කන්ඩත් බෑ කියලා ඉතින් අපි අත්දැකීමෙන්ම දන්නවා. මල්ලිත් ඉතින් පුලුවන් තරමට කාලා පැත්තකට උනා.මලයාට පුලුවන් තරම සෑහෙන තරමක් කියලා ඉතින් මිනිහා ගැන දන්නෝ දනිති. මටත් ඉන්ඩම බෑ, අම්මලා දැන්මම කන පාටකුත් නෑ.
මමත් ඉතින් සුට්ටක් බෙදාගෙන කකා ඉන්නකොට (වටලප්පන් කනවා කියලා බුකියෙ ස්ටේටස් දාන්ඩ, ටුවීට් කරන්ඩ තරම් මාව පල්ලෙහට වැටිලා නෑ කියල කියන්ඩත් එපැයි) මලයා මට ඉස්සරහ තිබ්බ පුටුවේ වාඩි වෙලා එහෙම
"අයියේ මාව කසනවා වගේනේ, පලුත් දාලා රතු වෙලා"
කියලා කම්බුලයි බෙල්ලයි පෙන්නුවා, දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මට සිද්දිමන්ට් එක තේරෙන්ඩ වැඩි වෙලා ගියෙ නෑ, මම ඉස්සෙල්ලාම කරේ මම කකා හිටපු ඒ රස වටලප්පම පැත්තකින් තිබ්බ එක, තව ටිකකින් මටත් මේ භයානක ඉරණමට ගොදුරු වෙන්ඩ වෙනවනේ ඉතින්. ( මීට අවුරුදු ගානකට කලින්, මට මතක හැටියට මම 4 වසරේ ඉද්දී මඟුල් ගෙදරකදී වැරදිලා මොනවද කාලත් මේ වගේම සිද්දියක් උනා කියලා මතක් උනා. )
ටිකකින් මලයා කසන්ඩ ගත්තා ඉතින් නැටුමක් වගේ, කෑ ගහ ගහ කසනවා. මලයා කසපු කැසිල්ල තමයි කැසිල්ල, කොල්ලා ඉදිමිලා රතු වෙලා. අම්මා පෙත්තක් දුන්නත් හරි ගියේ නෑ. මටත් කසන්ඩ ගත්තා, හැබැයි මල්ලීට තරම් දරුණු නෑ. අර බෙහෙත් පෙත්තට ටිකකින් අඩු උනා, ඒ මම වටලප්පන් ටිකක් කාපු හින්දා වෙන්ඩ ඇති.
දැන් ඉතින් මොනා කරන්ඩද? බෙහෙත් ටිකක් ගන්ඩ යමු, කියලා හතර දෙනාම ඉතින් ලෑස්තිවෙලා රෑ ම පිටත් උනා. මම ඉතින් දන්න සිල්ප ඔක්කෝම දාලා වාහනේ දැක්කුවේ පොලිස් මාමෙක් නැවැත්තුවත් අප්පච්චි මගේ පැත්තට කතා කරනවා කියලා දන්න හින්දා. අනික ඉතින් ඇතුලේ ඉන්න එකෙක් කසනවෝ, දනවෝ , වමනේ යන්ඩ එනෝ කියලා කෑ ගහද්දී කොහොම හෙමින් ගමන්ද ආයිබොවන්ඩ.
වටලප්පන් කාලා උන සන්තෑසියක් මේ කිව්වට පස්සේ ඩොට්ට අංකලුත් බෙහෙත් පෙති දෙකක් එවලෙම දීලා කැසිල්ල අඩු කරා, එ උනාට ඉතින් නිට්ටාවටම නැති උනේ නෑනේ. බෙහෙත් දෙන ගමන් ඇහුවා වටලප්පන් වලට ජෙලටීන් දැම්මද කියලා, අම්මත් ගත් කටටම ඔව් කිව්වා. සමහර අයට ජෙලටින් ඇලජික් ලු. මමයි අප්පච්චීත් මහා පරිමාණයෙන් කෑවනම් මේ ඉරණම තමයිලු. (මටත් ඉතින් ලාවට කැසුවනේ, වෙලාවට අප්පච්චී කැවේ නැත්තේ)කොහොමෙන් හරි ඉතින් මල්ලිව තාම ලාවට (ලාවට කිව්වට ලාවටමත් නෙමේ, ඉස්සෙල්ලට වඩා අඩුයි ) කසනවා. ආපහු ගෙදර එන ගමන් මලයා කෑ ගහලා......
වටලප්පන් කාලා උන සන්තෑසියක් මේ කිව්වට පස්සේ ඩොට්ට අංකලුත් බෙහෙත් පෙති දෙකක් එවලෙම දීලා කැසිල්ල අඩු කරා, එ උනාට ඉතින් නිට්ටාවටම නැති උනේ නෑනේ. බෙහෙත් දෙන ගමන් ඇහුවා වටලප්පන් වලට ජෙලටීන් දැම්මද කියලා, අම්මත් ගත් කටටම ඔව් කිව්වා. සමහර අයට ජෙලටින් ඇලජික් ලු. මමයි අප්පච්චීත් මහා පරිමාණයෙන් කෑවනම් මේ ඉරණම තමයිලු. (මටත් ඉතින් ලාවට කැසුවනේ, වෙලාවට අප්පච්චී කැවේ නැත්තේ)කොහොමෙන් හරි ඉතින් මල්ලිව තාම ලාවට (ලාවට කිව්වට ලාවටමත් නෙමේ, ඉස්සෙල්ලට වඩා අඩුයි ) කසනවා. ආපහු ගෙදර එන ගමන් මලයා කෑ ගහලා......
"මම ඔය කොම්පැණිය කුඩු කරනවා, ඕක හොයාගත්ත කෙනා අහු උනොත් දත් ගලවලා හකු පන්නලා බඩවැලේ වංගු කෙලින් කරලා, අක්මාවේ හැඩේ වෙනස් කරලා, බෙල්ල කරකවලා @%&%$(&%@"
කියලා පටන් ගත්තේ නැතෑ. මොනා උනත් ඉතින් එදායින් පස්සේ අපෙ ගෙදර වටලප්පන් තහනම් වචනයක් උනා. වටලප්පමට කසනලප්පන් කියන්ඩත් අමතක කරේ නෑ, බෙහෙත් වලින් කැසිල්ල නම් අඩු වෙලා සනීප උනා, එත් ඉතින් සනීප වෙනකන් මලයා අර ජෙලටින් කොම්පැණියයි, ඒවා හොයා ගත්ත කෙනයි සෑහෙන වාර ගානක් මතක් කර කර පිං දුන්නා, ගුණ කථන කරා.
අම්මා ගෙදර ආවට පස්සේ කිව්වේ ඒ වටලප්පන් රෙසිපියම නෙමේලු, කොහෙන්ද මන්දා පත්තරේකින් අහුලගත්ත එකක් ලු. ඒක හින්දා කසනලප්පන් කිව්වට ඉතින් අව්ලකුත් නැනේ
අන්තිමට ඉතින් ගෙදර තිබ්බ ඒ සුන්දර රස කසනලප්පන් මෙන්න මෙහෙම ඉතුරු වෙලා තිබ්බා
(මලයා කාපු පොඩ්ඩ පේනවනේ, මමත් පොඩ්ඩක් කෑව තමයි, වැඩිහරිය මල්ලිගේ වගකීම)


No comments:
Post a Comment