මොනා වෙලාද?
*බඩේ කැක්කුමක්
ආ!! එහෙනම් ඇපැන්ඩිස් වෙන්ඩ ඇති.
*දන්නේ නෑ, එත් ඉතින් ඇපෙන්ඩිසයිටිස් වලට මීට වඩා අමාරුවෙනවලු. තාම එක එක ටෙස්ට් කරන හින්දා හරියටම කියන්ඩ බැයිලු.
ඇපැන්ඩිස් උනත් අව්ලක් නෑ මල්ලී, පොඩි ඔපරේසමක්. අර මොකද්ද එක කපලා දාන එකලුනේ, ඊට පස්සේ ගලක් කෑවත් පහුවදා එළියට තමයි. හැහ්!
*ඔව්, අයියට මොකද අසනීපේ?
පොඩි කේස් එකක් මල්ලී, අපේ අයියා මට ගඩොලකින් ගැහුවා, ඉල ඇට කූඩුවට. (හේ කමිසය ඔසවා පපු කැනැත්තේ දකුණු පැත්ත ගෙනහැරපායි, එහි නිල් දම් වූ තැල්මකි )
*නිල් වෙලා නේද? ඩොක්ටලා මොකද කිව්වේ, ඇතුලේ අවයව වලට අව්ලක් නැනේ?
දන්නෑ, එස් රේ ගත්තා, තාම මුකුත් කිව්වේ නෑ.
*ගලකින් ගහන්ඩ තරම් උන කේස් එක මොකද්ද?
අපි ගමේ සෙට් එක ක්‍රිකට් ගගහ හිටියා.බැට කරේ මම. අයියා අනිත් ටීම් එකේ, බෝල් කරේ අයියා. මිනිහා බෝලේ දැම්මා. බෝලේ මගේ කකුලේ වැදුනා. ඒකා LBW ඉල්ලලා කෑ ගැහුවා. මල්ලී ඒක එලියට යන බෝලේ. LBW දෙන්ඩ බෑ. ඒකට පොඩි රන්ඩුවක් උනා. අයියට තද වෙලා මට ගඩොල් පාර දුන්නා.
*අහ්! අයියාට වයස කීයද?
මටද? මගේ අයියටද?
*දෙන්නාගෙම කියන්ඩකෝ....
මට විසි නමයයි, මගේ අයියට තිස් දෙකයි
*එහෙමද!! එතකොට ගෙවල් කොහෙද?
වාරියපොළ
මගේ ඇඟේ රෝම කූප මෙව්වා වෙනවා වගේ දැනුණි, ඇඟ කිලි පොලාගෙන පොලා..ගෙන පොලා.......ගෙන එනවා වගේ දැනුණි, "මේ මගේ අල්ලපු ඇඳේ එකා නේද?" හැඟීම මට දැනෙනෙනට විය. මගේ ලොඹු ඩැහැගැන්වීගෙන ආවේ නිරායාසයෙනි. බඩේ කැක්කුම කොහෙන ගියාද නැත වගේ දැනුණි. මගේ පවුලේ අය සිහිවුණි, මා කට පරිස්සම් කර ගත යුතුය, නැත්නම් මටත් මේකාගෙන් අරෝවක් වේය යන හැඟීම නිතැනින්ම මහේ සිතේ හොල්මන් කොරන්නට විය, මාගේ සුව නින්ද බිඳිනා ඒ නපුරු සිහිනටය වාරියපොළ අක්කාත්, වාරියපොළ අයියාත්, අයියාගේ අයියාත් එතැයි සිතුන නිසා නින්දට පෙර පන්සිල් ගෙන, මෛත්‍රී භාවනාව කර දෙවියන්ටයි මළගිය නෑදෑයින්ටයි පින් දිය යුතුය යන සිතිවිල්ල මගේ සිතේ පහළ විය.
ආ........ දියවැඩියා කට්ටය කෑම ගන්ඩ
මගේ කල්පනාව ඒ හෙද නිලධාරියාගේ හඬින් බිදුණි, මා සමඟ කතා කරමින් සිටි තරුණයා දැන් එහි නැත. "මමත් කාගෙන්වත් LBW ඉල්ලන්නේ නැතැයි" සිතිවිල්ලෙන් ඇඳේ ඇල වී කියවමින් සිටි ආර්.ඇල් ස්පිටල් මහතාගේ "වණ සරණ" වෙත දැහැන්ගත වීමි.

No comments:
Post a Comment