Saturday, September 5, 2015

දොළහා

Physical Science යන්න හිටපු මම SLIIT  යන්නේ කිසිම පැලෑනක් නැතුව. ගිය මුල්ම දවස තාම මතකයි. අම්මා එක්ක ගියේ. දූපත් ගාව තියෙන ප්‍රධාන ඔපීසියෙන් ලියාපදිංචි වෙලා එහෙම Engineering පැකල්ටියට ගියේ, ලැච්චර් වලට. (දැන් ඉතින් SLIIT එකේ පැලෑන දන්නේ නැති උන අහන්න එපා කොහෙද බන් මාලබේ දූපත් කියලා) Engineering Auditorium 2 යමන් කියලා තමයි කිව්වේ. හොයගෙන හොයායෙන ගියා. Design and Process Engineering ලැච්චරේ පටන් අරන්. ඔහොම තමයි මුල්ම දවස.

කාලේ ගෙවුනා. සෙමෙස්තර එකහමාරක් අහවරයි. එක වසර ඉවර වෙන්නත් ළඟයි. එක එක ටයිප් මිනිස්සු මුණගැහුනා. දැන් තමයි උන් ඇත්තටම කව්ද කියලා තේරෙන්නේ. සමහරු බොක්කටම වැදුනා. ඒ බොක්ක හොඳ උන්. එක වසරෙදි බොක්කටම වැදුන උන් ටික ගැනයි මේ. මට එක SLIIT ඇතුලේ විස්වාසවන්තම උන් ටික. ඔපාදූප කිය කිය ඇවිදින උන්, පච හල හල ඇවිදින උන්, කොටවන උන්, කේලම් කාරයෝ මෙතන නෑ. රහසක් නම් දොළොස්දෙනාගෙන් පිට යන්නෙත් නෑ. අනිත් උන් තව ඉස්සරහට කාලෙත් එක්ක තව තව අය පිට් වෙයි, Departments බෙදුවාම, එකිනෙකා අඳුනගනී, තව තව බොක්ක හොඳ උන් එකතු වෙයි. ඒ හැම දේම කාලෙත් එක්ක වෙයි.

උඹලාටත් මෙහෙම සැට් එකක් ඇති.   

මම අපිම කියන නම් වලින් කියන්නම්, මුලින්ම පොලයා( අප්පුවා යන්න ඉඳහිට භාවිතා වේ), බිනා, ලකියා, ලකියාගේ පවුල, ටික්කා, ශවියා, පෙත්තා, වරා(කබා යනු අනවර්ත නාමයකි ), යොමී, ටසියා, කිඹුලා අන්තිමට මම. කොල්ලෝ 11යි, එක කෙල්ලයි. ඔහොමයි දොළහා හැදෙන්නේ. එක එකා ගැන ඊළගට....


1.පොලයා (උදේෂ්)
මූ මාගේ අති ජාත මිත්‍රයාය. මාතලේ කොල්ලෙකි. මට මූව මුලින්ම මුනගැහෙන්නේ දූපත් වලදීය. මාගේ සෑම සිද්දිමෙන්ට් එකක්ම දන්නා මොහු මම වලේ වැටෙන්නට යනකොට මට ජාතිය අමතා බේරගත් වාර එමටයි. දෙන්නාම එකට පැලෑන් කරලා වලට පැන්න අවස්ථාද නැතුව නෙමෙයි.
මූ දේසමාමක හදවතක් ඇති මහින්දලෝලියෙකි. මම ජේ.වී.පී කාරයෙකි. මම මූ එක්ක වාද කරන්නේ මේ ටොපික්ස් එකේදී පමණි. මුගෙයි මගෙයි සමානකම් කීපයකි. උපන්දිනය එකම දවසේය. දෙදෙනාම වමත්කරුවන්ය. මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමධ්‍යපය. නමුත් ගගණගාමියෙකි (හඳේ බ්‍රෝ). මොහු සම්බන්ධ රස කතා රාශියකි. සමහර ඒවා දන්නේ මා පමණි. මූ මගෙත් මා මුගෙත් බොක්ක නිසාය. 
සරළව උදේශ් එළකිරි කොල්ලෙකි.

2. බිනා (බිනුර )
ගම ගාල්ලේය. උස ආරෝහ පරිණාහ දේහයක හිමිකම් කියන මොහු කලක් CALTEX සමාගමේ සන්නාහා නාම තානාපති හෝ අළෙවි ප්‍රවර්ධන නිළධාරී වී සිටියා විය හැක. (පිටුපස කතාවක් ඇත ). මූයි මායි ඉන්නේ එක බෝඩිමේය. ඉතා පිළිවෙල පිරිසිදු චරිතයක් වන මොහුගෙන් අපටද උගත යුතු දේ බොහෝය. කොල්ලා හිර වන්නේ මුලකුරු සමඟ නම ඇසූ විට පමණි. තනිකඩයෙකි.  
මූ ලකියාගේ එකවුන්ටුවකින් Hi පාරක් දමා කෙලවූ නිසා, ලකියාගේ ලයිප් එක පුල් මාවලස් වී ඇත. එහි වගකීම බිනා සතුය. සම්පූර්ණ කතාව පසුවට.

3.ලකියා (ලකීශ )
ගම ගාල්ලේය.ඉතා හොඳින් 6 packs මේන්ටේන් කරන මොහු කුඩා බන්ඩියකට හිමිකම් කියයි. මූ පවුල් උනේ මැයි 7 ය (උඹලත් දවස මතක තියාගෙන ඇනිවසරි පාටි ගත්තට අවුලක් නෑ. අපි නම් සතියේ, මාසේ, මාස දෙකේ ඇනුවසරි නිතරම සමරනවා. මුන්ව මල්බකට් කිරීමට ගොස් නෑවේ තනිකඩ මම ය) මුගේ ඉස්සර සිද්ධි බහුතරය දන්නේ ටික්කාය. හැම මගුලක්ම "බොරුනම් ටික්කාගෙන් අහපන්" කියන්නේ කට කහනවට නොවේ.(රස කතාවක් සැඟව ඇත ) මුගේ ගමට තාම විදුලි සැපයුම නැත. මූ අමධ්‍යපය. ගගණගාමියෙක් නොවේ. නමුත් ඉඳහිට නින්දෙන් ඇහැරී මෙන් වලාකුලු ඇඟේ වදින බව පවසයි. දැනට එපමණය.

4.ලකියාගේ පවුල (නවෝදි)
කලුතර එකියකි. ලකියාගේ ගෑල්ලමයාය.  කලකට ඉහතදී ඇස්.පී.ඇම් බෑන්ඩ් ලීඩර් අක්කාය. මැය SLIIT එකේ සිටිනා අතිජාතම මිතුරියයි. උපදෙස් දීමට, දුක ඇසීමට සහජ හැකියාවක් ඇත. අපේ කුප්ප වැඩ වලට නිතැතිනම සහයෝගය දක්වයි. ඒත් මල පැන්න විට "ඕනා මගුලක් කරගනින්, පස්සේ මට විතරක් දුක කියන්ඩ එන්න එපා" කියමින් තරජනේ කරයි. (ගිය සතියෙත් මට එහෙම කිව්වා බන්) සැට් එකේ කොල්ලෝ 11 දෙනාගේම ලිපිද්‍රව්‍ය සම්බන්ධ කටයුතු බොහෝ විට මැයට බාර වෙයි. ලව් හුටපට වලට බොක්කෙන් සප් කරයි. පටලගන්න යන්නේ නොගැලපෙන හුටපටයක් නම් එයත් මූණටම කියයි. වෙන කෙල්ලෝ වගේ මැගේ ඔපාදූප කියවිලි, කේලාම් කිවිලි, කෙටවිලි නැත.  එය අගේ කර යුතුය.   

5.ටික්කා (ටිලංක ) 
ගම ගාල්ලේය. ලකියාගේ බොක්කය. මූ ඉන්ජිනේරු ශිෂ්‍යයෙක් වුවත් වෘර්තියෙන් මුර කරුවෙකි, රියදුරෙකි. කොට්ටාවේ "අපේ ගෙදර" මුරකරු මොහුය. අපිට අයත් Aqua රථයේ රියදුරු මොහුය. කලුවරට නිතැතින්ම බය ටික්කා අමධ්‍යපය. නමුත් ගගණගාමියෙකි (හඳේ බ්‍රෝ). තනිකඩයෙකි. ලකියා "බොරුනම් ටික්කාගෙන් අහපන්" කියූ විට "මන් දන්නවා" යනුවෙන් කුමන තත්වයක සිටියත් පවසයි. ඒ ටික්කා සෑමවිටම කෙලින් නිසාය. (රස කතාවක් ඇත ) මූ අපට ඇතුලෙදී ගොඩක්ම වටින්නේ මූට අයත් S5 එකෙන් AC  අඩු වැඩි, On, Off කිරීමට හැකි නිසාය. ටික්කා බොක්ක හොඳ කොල්ලෙකි. 

6.ශවියා (ශවීන්)
පැහැපත් ළපටි පෙනුමකට හිමිකම් කියන මූ මොරටුවේ කොල්ලෙකි. උඹලා අර දකින කොළ පාට TW එකේ හිමිකරුවාය. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අමධ්‍යපය. නමුත් ගගණගාමියෙකි (හඳේ බ්‍රෝ). මුගේ වයස 4ක් 5ක් කාලයේ  එකම බලපොරොත්තුව සල්ලම් කිරීමට මල්ලියකි. (රස කතාවක් ඇත ). තනිකඩයෙකි. මුගේ ගෙදර බාත් රූම එකේ කක්කා පිටින් ඇවිදීමට සිදුවූ ඒ කුජීත මොහොතට අප කීපදෙනෙක් මුහුණ දුන් දවස් ඇත. තව ඉස්සරහටත් එම දවස් උදාවනු ඇත (සැළකිය යුතුය - කක්කා පිටින් ඇවිදීම තනි තනිව, වෙන වෙනම සිදු වූ, මුහුණ පෑ අත්දැකීමකි. සැට එකට එකට මුහුණපෑ එකක් නොවේ) 

7.පෙත්තා (අනුශ්ක)
තවත් මොරටුවේ ඩෑල් එකකි. 5 වසර දක්වා සුදු කොල්ලෙකි. දෛවයේ සරදමට දැන් වෙනස් වී ඇත. ගායකයෙකි. ක්‍රිකට් ක්‍රීඩකයෙකි. බොහෝ විට water boy ගේ තැන මොහුට හිමිවේ. අමධ්‍යපය. මූට එලුවෙක්ගේ බැල්ම වැටී ඇත. පැලෑන් අවුල් කිරීමට මූ ප්‍රධාන අඩිතාලම දමයි. (රස කතාවත් ඇත )මුල්ලකට වී තනියම සින්දු කියා උගේ පන් එක ඌ ගනී. මූත් කලුවරට බය කොල්ලෙකි.  වැල්ලේ ............ පිලිඹඳ හසල පලපුරුද්දක් ඇත්තෙකි.

8. වරා, කබා (වරුණ )
අතුරුගිරියේ කොල්ලෙකි. දිගු වරලසක් හිමි මොහුගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීම පමණක් නොව වෛද්‍ය, ගුරු, අලෙවි කළමණාකරු සහ තවත් විවිධ අංශයන්ගෙන් ඉගනගෙන සිය වෘතියට එම අත්දැකීම ලබා ගැනීමය. කබා යන්න පටබැඳුනේ, අරපරෙස්සම නිසාය. කොට්ටවේ අපේ ගෙදර ඇඳකත්, ෆෑන් එකකත් වගකීම මොහු බාරගත යුතුය. යමක් පවසන්නේ අත උස්සා සංඥා කිරීමෙන් අනතුරුවය.අමධ්‍යපය. නවක ගගණගාමියෙකි (හඳේ බ්‍රෝ). තනිකඩය. වැඩි දුර මූ ගැන සඳහන් නොකරමි, ඒ කෙන්ද කන්ද කරගන්නා නිසාය. ලපටි කොලුවෙකි.

9.යොමී (යොමාල්)
තවත් අතුරුගිරියේ කොල්ලෙකි. සෙල්පි ගැසීමට සහජ දක්ශතාවයක් ඇත. තනිකඩය. සිමෙන්ති කොට්ටයක් තරම් වූ බත් මුලක සාඩම්බර හිමිකරුවෙකි. සුදු පාට ප්‍රිය කරන මොහුද විටෙක රියදුරෙකි. vanette එක අපරාදේ බන්. මුගේ ගෙදර ෆ්‍රිජ් එක කිසි විටෙකත් හිස් නැත. එය මා අත්දැකීමෙන් දනිමි.  මුගේ external hard එක ජාතික මෙහෙවරක් ඉටු කරන බව නොකියා බැරිය. 

10.ටසියා(දසිත)
මොරටු කොල්ලෙකි. මා මූගේ හරි නම දන්නේ නැත. උගේ බුකි එකවුන්ට් එක බලලා හොයා ගත්තේ. මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිහිකල්පනවෙන් අගතැම්පත්ය. මේ ලඟදිත් 17,000ක් සොරි කරගත්තෙකි. මූට ලැච්චරි පටන් ගන්නේ 9.30ට පමණය, අපට පටන් ගන්නේ 8.30ටය. 
ක්‍රිකට් ක්‍රීඩකයෙකි. බොහෝ විට water boy ගේ තැන මොහුට නොවේ.කිසීම දේක බරක් පතලක් නැත. තනිකඩයෙකි. (ඒ ගැනවත් මුට ගානක් නැත.)

11.කිඹුලා (නිපුන)
කිඹුලා යන්න සන්ධි පදයකි. (දන්නෝ දනිති ) මොන්ටියක් හිමිය. කිරිබත්ගොඩ එකෙකි. ගැල්ලමයි ගැන කතාවකදී මු සැඩ ගනයේ ටෝක්ස් දෙයි. චීත්ත ඉස්සරහා සැලෙන්ඩර් නැත. මහින්ද ලෝලියෙකි. ජ'පුර මැනේජ්මන්ට් පැක්ල්ටියට ඊළඟ වසරේ සිට ඇලුම් කිරීමට ඉඩ ඇත. (අප්‍රකට රස කතාවක් පසුපස ඇත.) තනිකඩයෙකි. 

12.මම
කියන්ඩ වදන් නෑ. කැමති දෙයක් හිතා ගනිල්ලා



පසුව ලියමි - 
1. තනිකඩ යැයි සඳහන් කර ඇත්තේ ගෑල්ලමයින්ගේ අවධානය පිණිසයි.
2. ගගණගාමියා යනුවෙන් දක්වා ඇත්තේ අභ්‍යවකාශයේ සැරිසැරීමට ලොල් අයයි.
3. මම ගැන ලියලා මොකෙක්වත් මේකට යටින් කොමෙන්ට නොකරාට කම් නැත. (විශේෂයෙන් පොලයා,      බිනා, ලකියා සහ නවෝදි )

අපේ කතාව දැනට අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි. 
(විසිල් හඬ, අත්පොලසන් මධ්‍යයේ වේදිකාවෙන් නික්ම යයි )

- දිලින බණ්ඩාර-